ඉඩම් තොරතුරු පද්ධතිය

2002 අංක 17 දරන මැනුම් පනත මගින් පවරා ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකාව තුල ඉඩම් තොරතුරු පද්ධතියක් (LIS) ස්ථාපිත කර පවත්වාගෙන යාම සර්වේයර් ජනරාල්වරයා සතු වගකීමකි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් දීපව්‍යාප්තව විවිධ සංවර්ධන හා වෙනත් අවශ්‍යතා සඳහා ඉඩම් මැනුම් කටයුතු සිදුකර පිඹුරු නිෂ්පාදනය සිදු කරයි. එලෙස පිඹුරු පිළියෙල කිරීමේදී භාවිත කරන අංකිත දත්ත එක්රැස් කර ඒවා නැවත සකස් කිරීම් වලට භාජනය කර ලබා ගන්නා භූ අවකාශීය හා අවකාශීය නොවන දත්ත උපයෝගී කොටගෙන ඉඩම් තොරතුරු දත්ත පද්ධතිය සකසනු ලබයි. එලෙස සකසන ලද තොරතුරු මහජනතාවට පරිශීලනය කළ හැකි ලෙස මෙම වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සලසා ඇත.

ඉඩම් මැනීම හරහා සෘජුව අංකිත දත්ත ලබා ගැනීම හැරුණු විට 1800 සිට සකස් කරන ලද පැරණි ව්‍යවස්ථාපිත පිඹුරු අංකිතකරණය කිරීමෙන් පසු ලබාගන්නා අංකිත දත්ත ද ඉහත තොරතුරු පද්ධතියට එක් කිරීම මේවනවිට මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි. මෙසේ විවිධ මූලාශ්‍රවලින් ලබාගන්නා දත්ත වල නිරවද්‍යතාවය වෙනස් වන බැවින් දත්ත උකහා ගනු ලබන මූලාශ්‍ර පදනම් කරගෙන එකී දත්ත වෙන වෙනම ගබඩා කිරීම සිදුකරයි.

ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ‘බිම්සවිය’ වැඩසටහන (Cadastral Surveys) යටතේ ඉඩම් මැනීම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර ඒ හරහා විශාල දත්ත ප්‍රමාණයක් ඉඩම් තොරතුරු දත්ත පද්ධතියට එක්වේ. එයට රෙජිස්ට්‍රාර් ‌ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතුව ඉඩම් කැබලිවල හිමිකම් කියන්නාගේ නම, හිමිකම ලබන පන්තිය සහ හිමිකම් සහතික අංකය වැනි තොරතුරු ඇතුලත් කෙරෙන අතර එම තොරතුරු නිරන්තරව යාවත්කාලීන කෙරේ. කෙසේ වෙතත් ආරක්ෂිත පියවරක් ලෙස පුද්ගලික ඉඩම් සඳහා ඉහත තොරතුරු ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මගින් තීරණය කර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන තෙක් ඉඩම් තොරතුරු දත්ත පද්ධතියට එක් කරනු නොලබයි.

ඉඩම් කට්ටියක විස්තර එය මැනීම සිදුකෙරුණු අවස්ථාවේ පැවති ආකාරයට දිස්වනු ඇති අතර කෙසේ වෙතත් කැඩැස්තර ප්‍රදේශය තුල පසුකාලීන මැනුම් වල විස්තර නිතිපතා යාවත්කාලීන කරනු ලැබේ. එබැවින්, කැඩැස්තර ප්‍රදේශය සම්බන්ධයෙන්, නිවැරදි සහ යාවත්කාලීන තොරතුරු ඉඩම් තොරතුරු දත්ත පද්ධතිය හරහා ලබාගත හැක. ඉහත දත්ත පද්ධතියෙහි තොරතුරු සෙවීමේ පහසුකම පිඹුරු විස්තර ඇතුලත් කිරීම මගින්, ස්ථානීය කණ්ඩාංක ඇතුලත් කිරීම මගින් සහ දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හෝ ග්‍රාම නිලධාරී කොට්ඨාශ විස්තර ඇතුලත් කිරීම මගින් ලබාගැනීමට පහසුකම් සපයා ඇත. එබැවින් රේඛීය දෙපාර්තමේන්තුවලට සහ සාමාන්‍ය මහ ජනතාවට තම එදිනෙදා කටයුතු සඳහා ඉඩම් කට්ටි අංකය, ඉඩමේ බිම් ප්‍රමාණය, ඉඩමේ නම, ඉඩම් පරිහරණය, ඉඩම් හිමිකම, මායිම් උප ලේඛණය, පැරණි පිඹුරු සඳහා යොමුව වැනි යාවත්කාලීන කරන ලද තොරතුරු අන්තර්ජාලය හරහා පරිශීලනය කළ හැක. තවද ඉඩම් තොරතුරු දත්ත පද්ධතියට එක් කර ඇති පිඹුරු .kml ආකෘතියට පරිවර්තනය කිරීමේ පහසුකම මෙහි සලසා ඇති අතර එමගින් GIS නොවන පරිශීලකයන් සමඟ භූගෝලීය දත්ත හුවමාරු කර ගැනීමටත් ඒවා Google Earth සහ ArcGIS Explorer වැනි නොමිලේ නැරඹිය හැකි යෙදුම් ගණනාවක පරිශීලනය කිරීමටද ඉඩ සලසා ඇත.

තවද ඉඩම් තොරතුරු දත්ත පද්ධතිය මගින් කැඩැස්තර ප්‍රදේශය තුල වන ඉඩම් සඳහා රාජ්‍ය ආයතන විසින් සහතික කළ තොරතුරු සඳහා ප්‍රවේශවීමට පහසුකම් සපයා ඇති බැවින් බැංකුකරුවනට, දේපළ වෙළඳාම් කළමණාකරුවන්ට, පළාත් පාලන ආයතනවලට, නොතාරිස්වරුන්ට, තක්සේරුකරුවන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද තම එදිනෙදා ගනුදෙනු කෙටි කලකින් අඩු පිරිවැයකින් සිදු කර ගැනීමට හැකියාව උදාකරදී ඇත. මෙම සේවාව දැනට ඉඩම් තොරතුරු දත්ත පද්ධතියට එක් කර ඇති ඉඩම් සඳහා සීමාවී ඇති අතර මෙම සේවාවේ මුඛ්‍ය පරමාර්ථ මුදුන්පත් කර ගැනීමට ඇති නම් ශ්‍රී ලංකාව තුල වන සියළු ඉඩම් කැබලි මැන එම තොරතුරු ඉහත ඉඩම් තොරතුරු දත්ත පද්ධතියට එක් කළ යුතුය.

යම් රටක් ආවරණය වන පරිදි ඉඩම් තොරතුරු දත්ත පද්ධතියක් ස්ථාපනය කර ඇත්නම් එය එම රටෙහි ඉඩම් පරිපාලන මෙවලමක් ලෙස භාවිත කිරීමට හැකි බව පිළිගත් මතය වන අතර එවැනි දත්ත පද්ධතියක් හරහා විවිධ රේඛීය දෙපාර්තමේන්තු වල සැලසුම් සහ සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීමට හැකියාව ලැබෙන අතර එමගින් රටෙහි ආර්ථික, සමාජීය සහ පාරිසරික ක්ෂේත්‍රයන්හි තිරසාර සංවර්ධනයද උදාවනු ඇත. එබැවින් ඉඩම් තොරතුරු දත්ත පද්ධති සේවාවක් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ යහපැවැත්ම සඳහා ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවයක් බව පෙන්වා දිය හැක.