කැඩැස්තර මැනුම්

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ඉඩමෙහි අයිතිය ලියාපදිංචි කිරීම සඳහා කැඩැස්තර සිතියම මූලික අවශ්‍යතාවයක් වන අතර එම පනතේ 11 වැනි වගන්තිය සහ 2002 අංක 17 දරන මැනුම් පනතේ 10 වැනි වගන්තිය යටතේ කැඩැස්තර සිතියම් සකස් කිරීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා සර්වේයර් ජනරාල්වරයාට නියම කර ඇත.

කැඩැස්තරය යනු දේපල මායිම් පිළිබඳ මැනුමක් මත පදනම්ව ඉඩම් කැබැල්ලක පුද්ගල අයිතිය දක්වන අනන්‍ය හඳුනාගැනීමේ අංකයක් සහිතව ක්‍රමානුකූලව සකසන ලද ඉන්වෙන්ටරියකි. මේ අනුව, කැඩැස්තරයක් යනු ප්‍රදේශයක් තුළ ඇති ඉඩම් කොටස් පිළිබඳ ක්‍රමානුකූල විස්තරයකි. කැඩැස්තරය ආරම්භයේදී සිතියමේ ඒකකය ගමක් ලෙස ගත් අතර මෑතක සිට එම ඒකකය ග්‍රාම නිලධාරී කොට්ඨාශයක් ලෙස වෙනස් කරන ලදි. කැඩැස්තර සිතියමක් චිත්‍රමය සහ අක්ෂරමය වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ.

මැනුම් පනතේ 8 වැනි වගන්තියට අනුව සහ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 36 වැනි වගන්තියේ අවශ්‍යතා සපුරාලීම සඳහා කැඩැස්තර මැනුම් තොරතුරු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සර්වේයර් ජනරාල්වරයා වගකිව යුතුය. ඒ අනුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් එහි ඉඩම් තොරතුරු පද්ධතියේ (LIS) කොටසක් ලෙස ඩිජිටල් සහ දෘඩ පිටපත් ආකාරයෙන් කැඩැස්තර දත්ත ගබඩාවක් පවත්වාගෙන යයි.

දැනට “බිම්සවිය” ලෙස ක්‍රියාත්මක වන ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලබාගන්නා ලද ක්ෂේත්‍ර මැනුම් දත්ත ඉඩම් තොරතුරු පද්ධතියෙහි ගබඩා කර ඇත. කැඩැස්තර සිතියම් සකස් කිරීම සඳහා භාවිතා කරන ලද ආංගුලික දත්ත ඉඩම් කැබැල්ල පදනම් කරගත් ඉඩම් තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇති අතර ඉඩම් හිමිකම් නිකුත් කිරීමේ අවශ්‍යතාවය සඳහා ඉඩම් විස්තර තොරතුරු ඇතුලත් කර ඇත.