මැනුම් පිඹුරු හා රේඛා චිත්‍ර

ඉඩම් කැබැල්ලක මායිම් සහ කෙළවරවල් ස්ථානගත කිරීම සහ පිඹුරු / සිතියම සකස් කිරීම සඳහා ඉඩම් මැනීම සිදු කෙරේ. එයට ඉඩමේ භූ විෂමතාවය සහ ගොඩනැගිලිවල පිහිටීම සහ එහි සිදු කරන ලද වෙනත් වැඩිදියුණු කිරීම් ද ඇතුළත් විය හැකිය.

මෙම ඉඩම් මැනුම් තොරතුරු ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සහ ඉඩම් පරිහරණ සැලසුම් ක්‍රියාකාරකම් සඳහා වැදගත් අවශ්‍යතාවයකි. වර්තමාන හා ඓතිහාසික මැනුම් ලේඛනවල පුළුල් පරාසයක් විවිධ ආකෘති යටතේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සතුව පවතී. බොහෝ ලේඛන සාමාන්‍ය ජනතාවට ලබා ගැනීම සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් පහසුකම් සලසා ඇත.

මැනුම් පිඹුරු

මැනුම් පිඹුරු යනු තිරස් තලයක ප්‍රක්ෂේපණය කර ඇති පරිදි පෘථිවි පෘෂ්ඨය මත, ආසන්නයේ හෝ පහළින් ඇති ලක්ෂණ යම් පරිමාණයකට කඩදාසි තලයක් මත ඇඳ ඇති චිත්‍රක නිරූපණයක් වේ.

මිනින්දෝරු දෙපාර්තුමේන්තුව විසින් කලින් කලට විවිධ ආකාරයේ පිඹුරු නිෂ්පාදනය කර ඇති අතර ඒවායින් සමහරක් පහත පරිදි වේ.

හිමිකම් පිඹුරු (TP)

1800 වර්ෂයේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසු ප්‍රථමයෙන්ම නිෂ්පාදනය කරන ලද පිඹුරු වර්ගය හිමිකම් පිඹුරු (TP) වේ. විශේෂයෙන්, ලන්දේසි - බ්‍රිතාන්‍ය යුගයේ ඉඩම් පුද්ගලික අංශයට විකිණීමට මෙම පිඹුරු සකස් කර ඇති අතර 1800 - 1942 කාලය තුළ විවිධ වර්ගයේ හිමිකම් පිඹුරු පිළියෙල කර ඇත.

හිමිකම් පිඹුරු වල පිටපත් සර්වේයර් ජනරාල් කාර්යාලයේ (ප්‍රධාන කාර්යාලයේ) ලේඛන කළමනාකරණ සහ වෘත්තීය ප්‍රමිතින් අංශයෙන් හෝ දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලයෙන් මහජනතාවට නිකුත් කරනු ලැබේ.

  • උපසර්ග නොමැති හිමිකම් පිඹුරු (1,2,3,...)
  • 'T' උපසර්ගය සහිත හිමිකම් පිඹුරු ( T1,T2,T3, …)
  • රජයේ හිමිකම් පිඹුරු (Cr.T.P. 1, Cr.T.P. 2, …)
  • පවරාදීමේ හිමිකම් පිඹුරු
  • විහාර හා දේවාලගම් හිමිකම් පිඹුරු
මුලික පිඹුරු (මු.පි.)

මුල් කාලයේදී අවශ්‍ය එක් එක් ඉඩම් කොටස් වෙන වෙනම මැන තනි හිමිකම් පිඹුරු සකස් කරන ලද අතර, පසුව සෑම ඉඩමක් සඳහාම තනි පිඹුරුපත් සකස් කිරීම වෙනුවට, එකිනෙකට යාබද ඉඩම් කොටස් සියල්ල මැන එක් පිඹුරක් සකස් කරන ලදී. මෙම පිඹුරු වර්ගය මුලික පිඹුරු (මු.පි.) ලෙස නම් කරන ලදී.

මුඩුබිම් ආඥාපනත රටට හඳුන්වා දීමත් සමඟ මූලික පිඹුරු සකස් කිරීම රජයේ ඉඩම් සීමිත නාගරික ප්‍රදේශවලට සීමා විය.

  • උපසර්ග නොමැති මූලික පිඹුරු (PP)
  • "A" උපසර්ගය සහිත මූලික පිඹුරු (PP A)
  • "S" උපසර්ගය සහිත මූලික පිඹුරු (PP S)
  • දිස්ත්‍රික් උපසර්ගය සහිත මූලික පිඹුරු
  • හේන් මැනුම් මූලික පිඹුරු (Chena PP)
  • විවිධ මැනුම් මූලික පිඹුරු (MSPP)
  • වාරිමාර්ග මැනුම් මූලික පිඹුරු (ISPP)
  • වන මැනුම් මූලික පිඹුරු (FSPP)
  • නගර මැනුම් මූලික පිඹුරු (TSPP)
ඉඩම් නිරවුල් කිරීම සඳහා සකස් කරන ලද පිඹුරු

නාගරික ප්‍රදේශවල පවතින රජයේ ඉඩම් ප්‍රමාණය සීමිත වූ බැවින් මුඩුබිම් ආඥාපනත යටතේ මෙම පිඹුරු සකස් කිරීමේදී ග්‍රාමීය ප්‍රදේශ මැන පිඹුරු සකස් කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලදී.

තෝරාගත් ගම්මානයක ඇති සියලුම ඉඩම් කට්ටි මැන නිරවුල් කිරීම යටතේ පහත සඳහන් පිඹුරු සකස් කර ඇති අතර එම පිඹුරුවල දැක්වෙන රජයේ සහ පෞද්ගලික ඉඩම් නිරවුල් කර නොමැත. රජයේ සහ පෞද්ගලික ඉඩම් නිරවුල් කිරීමෙන් අනතුරුව ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිරවුල් කිරීමේ අවසන් වාර්තාව නිකුත් කරනු ලැබේ.

  • ලංකා මැනුම් මූලික පිඹුරු (BSPP)
  • ලංකා මැනුම් ගම් පිඹුරු (BSVP)
  • භූලක්ෂණාත්මක මූලික පිඹුරු (Topo. PP)
අවසාන නිරවුල් පිඹුරු

ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිරවුල් කිරීමේ අවසන් වාර්තාව ලැබීමෙන් පසු, මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඒ අනුව එම ගම/ගම් සඳහා අවසන් නිරවුල් පිඹුරක් සකස් කරනු ලැබේ.

ඉහත හා සම්බන්ධ වන මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් පිළියෙළ කරනු ලබන පිඹුරු වර්ග කිහිපයක් තිබේ.

  • අවසාන ගම් පිඹුරු (FVP)
  • අවසාන භූලක්ෂණාත්මක පිඹුරු (FTP)
  • අවසාන නිරවුල් පිඹුරු (FSP)
  • අවසාන ජනපද පිඹුරු (FCP)
  • අවසාන නගර පිඹුරු (FUP)
මැනුම් රේඛාචිත්‍ර

ඉඩම් සඳහා දීමනා පත්‍ර ලබාදීම, බදු දීම, පැවරීම, .., යනාදිය සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලබන මැනුම් සටහන් පහත පරිදි වේ.

  • L - බදු රේඛාචිත්‍ර
  • O - නිදහස් දීමනා පත්‍ර සඳහා රේඛාචිත්‍ර
  • V - පැවරීම් සඳහා රේඛාචිත්‍ර
  • S - බේරුම්කරණ නියෝග සඳහා රේඛාචිත්‍ර
  • R - සීමා සහිත ප්‍රදාන සඳහා රේඛාචිත්‍ර
  • M – පතල් කැණීම් අවසර සඳහා රේඛාචිත්‍ර