භුමි තොරතුරු පද්ධතිය

මිනින්දෝරු දෙපාර්තමේන්තුව 1992 දක්වා සාම්ප්‍රදායික සිතියම්කරණ ශිල්පීය ක්‍රම භාවිතයෙන් මුද්‍රිත සිතියම් සහ සැලසුම් ආකාරයෙන් භූ ලක්ෂණ දත්ත නිෂ්පාදනය කර සපයන ලදී. පරිගණක සහ තොරතුරු තාක්ෂණය, දත්ත ගබඩා කිරීමේ ධාරිතාව සහ දත්ත ගබඩා කළමණාකරණ පද්ධති සංවර්ධනය වීමත් සමඟ, අවකාශීය දත්ත පරිගණකයක ගබඩා කිරීම සඳහා නව ක්‍රමයක් ලොව තුළ බිහි වූ අතර එය භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS) ලෙස හැඳින්වේ. GIS යනු සියලු වර්ගවල භූගෝලීය දත්ත ග්‍රහණය කර ගැනීමට, ගබඩා කිරීමට, හැසිරවීමට, විශ්ලේෂණය කිරීමට, කළමනාකරණය කිරීමට සහ ඉදිරිපත් කිරීමට නිර්මාණය කර ඇති පරිගණක පද්ධතියකි.

1992 දී දත්ත රැස් කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ ඡායාරේඛණමිතික ශාඛාව විසින් සිතියම්ගත කිරීම සඳහා පරිගණක තාක්ෂණයේ ප්‍රධාන ප්‍රවාහයට ඇතුළු විය. ඒ අනුව, 1999 දී GIS ශාඛාව ආරම්භ කල පසු ඩිජිටල් භූ ලක්ෂණ දත්ත සමුදාය නිර්මාණය කිරීම සඳහා මුද්‍රිත 1:50,000 සහ 1:10,000 පරිමාණ භූගෝලීය සිතියම් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කරන ලදී. ඉන්පසුව පවතින 1:10,000 ඩිජිටල් දත්ත විවිධ ස්ථරවලින් GIS ආකෘතියට පරිවර්තනය කරන ලදී. පරිශීලකයන් සඳහා මෙම දත්ත සැපයීමට හැකිවන පරිදි GIS යෙදුම් සඳහා ඩිජිටල් භූලක්ෂණ දෛශික දත්ත සමුදායන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇත. මෙම දත්ත සමුදායන් ස්ථර අටකින් සමන්විත වන අතර ඒවා පරිමාණය අනුව තරමක් වෙනස් වේ. දත්ත සමුදාය ලක්ෂ්‍ය, රේඛා සහ බහුඅස්‍ර ජ්‍යාමිතින් මඟින් නිරූපනය කරන අතර පරිපාලන මායිම්, ගොඩනැගිලි, ප්‍රවාහනය, ජල විද්‍යාව, භූ විෂමතාවය, භූමි පරිහරණය, ස්ථානීයනාම සහ උපයෝගීතාව ඇතුළු ස්ථර අටක් අඩංගු කර ඇත.

භූගෝලීය සිතියම්කරණය සඳහා ජාල දර්ශකයේ පෙන්වා ඇති පරිදි දත්ත සමුදායන් GIS ආකෘතියෙන් සහ ටයිල් ආකාරයෙන් සංවිධානය කර ඇත. මෙම දත්ත ටයිල් හෝ ආකෘති ගොනු ලෙස හෝ මුල් දත්ත ආකෘතියේ DXF ගොනු ලෙස ඉදිරිපත් කළ හැක. අපගේ ඩිජිටල් භූ ලක්ෂණ දත්ත GIS යෙදුම්වල භාවිතය සඳහා ඒවායේ නිරවද්‍යතා මට්ටම සහ භාවිතය සඳහා සුදුසු පරිමාණයන් තුළ පවතී.

පරිශීලක ඉල්ලුම පදනම් කරගත් GIS ආශ්‍රිත කටයුතු කිරීමට මැනුම් දෙපාර්තමේන්තුවේ GIS ශාඛාවට හැකියාව තිබේ.

භූගෝලීය තොරතුරු පද්ධති අංශය මඟින් ඉටු කරන ප්‍රධාන කාර්යයන්

  • භූගෝලීය දත්ත සමුදායන් 1: 10,000 පරිමාණයට නිර්මාණය කිරීම සහ නඩත්තු කිරීම.
  • කොළඹ සහ තදාසන්න ප්‍රදේශයේ සහ අනෙකුත් විශේෂ ප්‍රදේශවල භූලක්ෂණ දත්ත සමුදායන් 1: 1000 පරිමාණයට නිර්මාණය කිරීම සහ නඩත්තු කිරීම.
  • ඉල්ලීම මත ජාතික හෝ දේශීය වශයෙන් වැදගත් GIS දත්ත සකස් කිරීම.
  • ඉල්ලීම මත විවිධ වර්ගයේ GIS දත්ත සකස් කිරීම.
  • වෙබ් GIS යෙදුම ඇතුළුව GIS යෙදුම් සංවර්ධනය කිරීම.
  • තේමාත්මක දත්ත සමුදායන් නිර්මාණය කිරීම සහ නඩත්තු කිරීම.
  • සිතියම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය දත්ත ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි (සිතියම්කරන) වෙත ලබා දීම.
  • පරිශීලක ඉල්ලුම මත GIS ආශ්‍රිත ක්‍රියාකාරකම් හැසිරවීම.

මෙම ශාඛාව විසින් මෑතකදී කරන ලද විශේෂ කාර්යයන් කිහිපයක් පහත දැක්වේ.

  • සීමා නිර්ණය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 340 ක් සහ ග්‍රාම නිළධාරී කොට්ඨාශ මායිම් සිතියම් ගත කිරීම.
  • දිස්ත්‍රික්ක 25, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ග්‍රාම නිළධාරී කොට්ඨාශ දත්ත ඇතුළත් කිරීමෙන් kml ගොනුවක් සකස් කිරීම.
  • ගුවන් තොටුපළ අවට ගොඩනැඟිලි ඉදි කිරීම සීමා කිරීම සඳහා DSM නිර්මාණය කිරීම.
  • දැනට මෙම අංශය මගින් පාසල් දත්ත ගබඩාවක් සහ රෝහල් දත්ත ගබඩාවක් නිර්මාණය කර ඇති අතර ඒවායේ යෙදුම් සංවර්ධනය වෙමින් පවතී.

සම්පුර්ණ කරන ලද දත්ත සමුදායේ දත්ත ස්ථර 23 පහතින් දක්වා ඇත.

  • Ad_Boundary_Li - ග්‍රාම නිළධාරී කොට්ඨාශ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, දිස්ත්‍රික් සහ පළාත් මායිම්
  • Ad_Ds_Pg - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
  • Ad_District_Pg - දිස්ත්‍රික්ක බල ප්‍රදේශ
  • Ad_Gn_Pg - ග්‍රාම නිලධාරී වසම් බල ප්‍රදේශ
  • Ad_Province_Pg - පළාත් බල ප්‍රදේශ
  • Ca_Tile_Pg - දත්ත සමුදායේ සම්පූර්ණ ප්‍රදේශය
  • Ca_Toponym_Pt - වතු නාම, ස්ථාන නාම, නගර නාම, ග්‍රාම නාම, ත්‍රිකෝණමිතික ස්ථාන නාම, නිවාස යෝජනා ක්‍රම, දූපත් වල නම් සහ ඓතිහාසික ස්ථාන වැනි විවිධ ලක්ෂ්‍යයන් අතුළත් දත්ත
  • Co_Building_Pg - තැපැල් කාර්යාල, ගුවන් තොටුපළ, බැංකු ගොඩනැගිලි, රෝහල් සහ නිශ්චිතව දක්වා නොමැති ගොඩනැගිලි ආදීන්ගේ දත්ත.
  • Clouds - දත්ත මූලාශ්‍රයේ නොපැහැදිලි ප්‍රදේශ
  • Hy_Hydro_Li - සියලුම ජලාප්‍රවාහ රේඛා
  • Hy_Hydro_Pg - සියලුම ජලාප්‍රවාහ ප්‍රදේශ
  • Hy_Hydro_Pt - බෝක්කු, නල ළිඳ, ළිඳ, උල්පත් සහ ජල කුළුණ ඇතුළු ලක්ෂ්‍යයන්
  • Lu_Landuse_Pg - විවිධ ඉඩම් පරිහරණ වර්ග අතුළත් ප්‍රදේශ
  • Lu_Landuse_Pt - ඉඩම් පරිහරණ වර්ග ඇතුළත් ලක්ෂ්‍යයන්
  • Lu_Landuse_Li - ජල රේඛා සහ ප්‍රවාහන රේඛා මඟින් ආවරණය නොවූ ඉඩම් පරිහරණ ‍රදේශ
  • Lu_Reserve_Pg - වන සහ වනජීවී සංරක්ෂණ ප්‍රදේශ
  • Te_Terrain_Li - සමෝච්ඡ රේඛා
  • Te_Terrain_Pt - උන්නතාංශය දැක්වෙන ස්ථාන
  • Tr_Transport_Li - සියළු ප්‍රවාහන රේඛා
  • Tr_Transport_Pt - මංසන්ධි, සැතපුම් කණු ආදී ලක්ෂ්‍යයන්.
  • Ut_Utility_Li - විදුලි බලාගාර සඳහා ජලය ගෙනයන මාර්ග, උමං ජල මාර්ග, ජල නල මාර්ග, බල ශක්ති සම්ප්‍රේෂණ මාර්ගය, විදුලි රැහැන් වැට සහ බලාගාර/ ජාල ස්ථාන රේඛා
  • Ut_Utility_Pt - ට්‍රාන්ස්ෆෝමර්, විදුලි සංදේශ කුළුණු, කුළුණු (අධි බලැති), සුළං බලාගාර ආදී ලක්ෂ්‍යයන්.

මෙම දත්ත සමුදාය සඳහා 50 K සහ 10K යන ප්‍රධාන පරිමාණ දෙකකින් භාවිතා කර ඇත.

දත්ත එකතු කිරීම සඳහා විවිධ මුලාශ්‍ර භාවිතා කල අතර ඒවා පහත පරිදි වේ.

  • මුද්‍රිත සිතියම්
  • ක්ෂේත්‍රයේ කරන ලද මැනුම්
  • අතින් ඇඳීම
  • ගුවන් ඡායාරූප
  • චන්ද්‍රිකා ඡායාරූප
  • LiDAR මැනුම් මගින් ලබාගත් ඡායාරූප

Go to GIS Data Dictionary