දුරස්ථ ග්‍රහණ

හැඳින්වීම

1980 දී ස්විස් - ශ්‍රී ලංකා චන්‍ද්‍රිකා දුරස්ථග්‍රහණ ව්‍යාපෘතිය හා සමගාමීව දුරස්ථග්‍රහණ අංශය ස්ථාපිත කරන ලදී. 1970 අග භාගයේදී චන්‍ද්‍රිකා දුරස්ථග්‍රහණය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. 1996 දී UN-ESCAP ව්‍යාපෘතිය යටතේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දුරස්ථග්‍රහණ අංශය චන්‍ද්‍රිකා දුරස්ථග්‍රහණයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය.

දුරස්ථ ග්‍රහණය අංශයේ මූලික ක්‍රියාකාරකම්

  • දේශීය ප්‍රතිපාදන මඟින් ඉතා හොඳ තත්වයේ චන්‍ද්‍රිකා ඡායාරූප මිලදීගෙන, ඒවා අවශ්‍ය පරිදි සකස්කර දත්ත රැස්කර ගෙන ගබඩා කර භාවිතයට ගැනීම. මෙම දත්ත, භූලක්ෂණාත්මක දත්ත පද්ධතිය නවීකරණය කිරීම සඳහා භාවිතා කරනු ලැබේ.
  • අධි විභේදනය සහිත චන්‍ද්‍රිකා ඡායාරූපවලින් 1:50,000 දත්ත පද්ධතිය සඳහා දත්ත රැස්කර ගැනීම.
  • 1:50,000 භූ ලක්ෂණාත්මක සිතියම් සැකසීමට අමතරව විශේෂ කාර්යයන් සඳහා ගුවන් ඡායාරූප හා චන්‍ද්‍රිකා ඡායාරූප සැකසීම.
  • දුරස්ථග්‍රහණ දත්ත භාවිතා කරන්නන් සඳහා දැනුම ලබා දීම සඳහා වැඩමුළු පැවැත්වීම.
  • වෙනත් ආයතන සඳහා දුරස්ථග්‍රහණ දත්ත භාවිතා කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීම.

1980 සිට දුරස්ථ ග්‍රහණ අංශයෙන් සිදුකරන ලද කාර්යයන්

  • ගුවන් ඡායාරූප භාවිතා කරමින් මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි 1:10,000 ඉඩම් පරිහරණ සිතියම් සකස් කිරීම.
  • 1998 දී ස්විස් - ශ්‍රී ලංකා චන්‍ද්‍රිකා දුරස්ථ ග්‍රහණ ව්‍යාපෘතිය යටතේ බුලත්සිංහල හා වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සකස් කිරීම.
  • ගුවන් ඡායාරූප භාවිතා කර 1:50,000 පත්‍ර 92න් 37ක් සඳහා ඉඩම් පරිහරණ සිතියම් සකස් කිරීම.
  • 2008-2009 කාලසීමාවේදී අවකාශීය දත්ත යටිතල පහසුකම් ගොඩනැගීමේ හා උපදේශක ව්‍යාපෘතිය (SIIRM) යටතේ සුනාමියෙන් හානි වූ ප්‍රදේශ සඳහා අධි විභේදනය සහිත චන්‍ද්‍රිකා ඡායාරූප භාවිතා කර, 1:10,000 භූලක්ෂණාත්මක සිතියම් සකස් කිරීම.
  • 2012 වසරේදී අධි විභේදනය සහිත චන්‍ද්‍රිකා ඡායාරූප භාවිතා කර, ශ්‍රී ලංකාවේ මාර්ග ජාලය සකස්කර මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිවිතර අනුව මාර්ග අංකනය කිරීම.
  • UNREDD ව්‍යාපෘතිය යටතේ 2015-2016 කාලය තුලදී LANDSAT චන්‍ද්‍රිකා ඡායාරූප භාවිතා කර මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි 2000, 2005, 2010 හා 2015 වර්ෂ සඳහා ඉඩම් පරිහරණ දත්ත පද්ධති සකස් කිරීම.

දුරස්ථ ග්‍රහණ අංශයේ වර්තමාන ක්‍රියාකාරකම්

2019 වර්ෂයේ සිට අධි විභේදන චන්ද්‍රිකා ඡායාරූප භාවිතා කරමින් 1:10,000 භූලක්ෂණ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පවතින සියලුම නවතම භූමි දත්ත ඒකාබද්ධ කිරීමෙන් මුළු රටම ආවරණය වන පරිදි ඩිජිටල් උන්නතාංශ ආකෘතිය නිර්මාණය කිරීම සිදු කරන අතර 2022 වසර අවසානයේදී සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත. (DEM නිර්මාණය සඳහා පවතින සියලුම දත්ත ආවරණය වන මූලාශ්‍ර දැක්වෙන සිතියම සඳහා රූපය-1 බලන්න).

2018 දී නිර්මාණය කරන ලද 1:50,000 භූලක්ෂණ දත්ත පද්ධතිය නවතම චන්ද්‍රිකා ඡායාරූප, Geo Names දත්ත පද්ධතිය සහ අනෙකුත් දත්ත පද්ධතීන් භාවිතා කරමින් යාවත්කාලීන කිරීම.

අලුතින් සාදන ලද ඩිජිටල් උන්නතාංශ ආකෘතිය භාවිතයෙන් 1:50,000 භූමි ලක්ෂණ සිතියම නිර්මාණය කිරීම.

දීපව්‍යාප්තව සම්පූර්ණයෙන් ආවරණය කිරීමට චන්ද්‍රිකා ඡායාරූප එකතු කිරීම. (ලබා ගත හැකි චන්ද්‍රිකා ඡායාරූප ආවරණ සිතියම් සඳහා රූපය-2 බලන්න).

අධි විභේදන චන්ද්‍රිකා ඡායාරූප සහ අනෙකුත් දත්ත පද්ධතීන් භාවිතා කරමින් 1:10,000 සහ 1:50,000 භූලක්ෂණ දත්ත පද්ධතීන් යාවත්කාලීන කිරීම.

විවිධ දුරස්ථග්‍රහණ ශිල්පය භාවිතා කරන්නන් සඳහා දැනුම බෙදා දීම සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා දුරස්ථග්‍රහණ ශිල්පය පරිශීලකයන් සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යාම.